මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 05 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික.ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ කපිල කන්නංගර සඳහන් කළේ, මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සතිවලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
දැනට පවතින දත්ත අනුව කොළඹ ගම්පහ කළුතර නුවර ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල රත්නපුර පුත්තලම කල්මුනෙ මඩකලපුව අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව, අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ජුනි 08, 09 සහ 10 යන දිනවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා සතියකට අවම වශයෙන් විනාඩි 30ක් වෙන්කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර ඉවත් කරන ලෙසත්, උදෑසන සහ සන්ධ්‍යා කාලවල මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට ශරීරය ආවරණය වන ඇඳුම් සහ අනුමත මදුරු විකර්ශක භාවිත කරන ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී ඇත.
තද උණ, හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය, සමේ රතු ලප හෝ රුධිර වහනය වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එමෙන්ම උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කරන ලෙසත්, ඇස්ප්‍රීන්, ඉබියුප්‍රොෆෙන්, ඩයික්ලොෆෙනැක්, මෙෆෙනමික් ඇසිඩ් ඇතුළු NSAID කාණ්ඩයේ ඖෂධ සහ ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත කිරීමෙන් වළකින ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.




